Tuesday, February 2, 2016

ලොව පළමු දාගැබ ගිරිහඬු මහා සෑය....

බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් ලෙස ස්ථූපය හදුන්වා දිය හැකිය.
ස්ථූපයක් ගොඩනගන්නේ පූජනීයත්වයට පත්වූවන්ගේ ධාතු තැන්පත් කිරීමෙන් වන අතර එය තැනිය යුත්තේ කවුරුන් උදෙසාද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. බුදු, පසේබුදු, මහරහත්, සක්විතිරජ යන සිව් දෙනා වෙනුවෙන් පමණක් ස්ථූප ගොඩනගන ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ලැබූ තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ කේශ ධාතු නිදන් කොට දාගැබක් කරවූ බව පූජාවලියේ සදහන් වේ.
මෙය ලෝක බෞද්ධ ස්ථූප ඉතිහාසයේ ආදිතම ප්‍රවෘත්තියයි.
ත්‍රිකුණාමල දිසාවේ කට්ටිකුලම් පත්තුවේ යාන් ඔය මුහුදට ගලා බසින තිරියායේ කල්ලරාය අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 212 ක් උස් වූ පුරාතනයේ ගිරිකණ්ඩ පර්වතය මෙන්ම ගිරිහඬු ගිරිකඬ නමින්ද හැදින් වූ පර්වතය මුදුනේ පිහිටි ගිරිහඬු සෑය නීතුපත්පාන විහාරය නමින්ද හදුන්වයි. ද්‍රවිඩ ජනයා තිරියාය මලේ හා කන්දසාමි මලේ නමින්ද හදුන්වන්නේ මෙයයි.
මුල්කාලයේ ගිරිකණ්ඩය නමින් හැදින්වූ මෙය නීතුපත්පාන වූ ආකාරය ගැන ජනප්‍රවාද දෙකකි.
වෙළඳ නායකයන් පැමිණි ගල්තලය යන අර්ථයෙන් "නෙතු පතන පාසාන" යන වචනය ජනතා ව්‍යවහාරයේදී නීතුපත්පාන වූ බව එක් ජනප්‍රවාදයකි.
එමෙන්ම නිතිපතා දැල්වුණ පහනක් තිබෙන ස්ථානය පසුව නීතුපත්පාන වූ බව අනෙක් ජනප්‍රවාදයයි.
මෙම ජනප්‍රවාදයන් කෙසේ වූවද ගිරිහඬු සෑය නීතුපත්පාන විහාරය නමින්ද පුරාතනයේ හඳුන්වා ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
ගිරිහඬු සෑය හා බැඳුණු අපූරු කතා පුවතක්ද තිබේ.
බුද්ධත්වයට පත් වූ බුදුන්වහන්සේ, බුද්ධත්වයට පත්ව 50 වන දිනයේදී තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලඳ හා මී පැණි ප්‍රථම දානය ලෙස පිළිගත් බව පූජාවලිය සඳහන් කරයි.
දානය පිළිගැන්වීමෙන් සතුටට පත් වෙළෙඳුන් වැඳුම් පිදුම් සඳහා යමක් ඉල්ලා සිටි බවත්, බුදුන්වහන්සේ හිස පිරි මැද කේශ ධාතූන් ලබාදුන් බවත් පූජාවලිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කේශ ධාතූන් රැගෙන උත්තලා නගරයේ සිට පෙරදිග වෙළඳාමට යන අතරතුර මොවුන් ලංකාවට ගොඩබට බවත්, එම ස්ථානය ත්‍රිකුණාමලය, කුච්ඡවේලිය ප්‍රදේශයේ ගල්වරාය බවත් තවදුරටත් සඳහන් වන අතර මොවුන් යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට පැමිණ සුරක්ෂිත ස්ථානයක කේශ ධාතූන් තැන්පත් කොට ආහාරගත් බවත්, ආපසු යාමට සූදානම්ව කේශ ධාතූන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඒවා ඉවත් කරගත නොහැකිව එම ස්ථානයේම නිදන් කොට ගිරිහඬු සෑය ඉදිකළ බවත් ඓතිහාසික ලේඛනවල සඳහන් වේ.
මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය ගිරිහඬු මහා වෙහෙර බවට ඓතිහාසික සාධකයන් රැසක් ද හමුවී තිබේ.
මෙම ගිරිගඬු පව්වේ වූ විශාල සෙල් ලිපියක් 1929 දී හමු වූ අතර එම ලියවිල්ලට අනුව තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් ඉදි කළ කේශ ධාතූ චෛත්‍යය ගිරිහඬු සෑයම බව රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත.
තිරියායේ සෙල් ලිපිය ලෙස හැඳින්වෙන්නේ ගිරිහඬු සෑයෙන් සොයාගත් මෙම ලියවිල්ලයි.
ආදිම ලංකා ඉතිහාසයේ මැකීගිය තොරතුරු තිරියාය සෙල් ලිපියෙන් අනාවරණය වේ.
මෙමගින් ගිරිහඬු සෑයේ පුරාවෘත්තය සදාකාලයටම සුරැකෙන සේ ලියැවී තිබේ.
පූජාවලියේ සඳහන්වන වෙළෙඳ දෙබෑයන් ත්‍රිකුණාමලයේ තිරියායට පැමිණි බවද තිරියාය සෙල් ලිපිය සනාථ කරයි.
ගිරිහඬු කඳුමුදුනේ පිහිටි ගල් ලෙන්වල බ්‍රාහ්මීය අක්ෂර අකාරයේ ලියවිලි හමුවී ඇත.
සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අඩි 20 පමණ දිගට ලියැවුණු තිරියාය සෙල් ලිපිය ලියා ඇත්තේ අග්‍රබෝධි සිලාමේඝ රජසමයේ දී බව පැවසේ. 
එනම් ගිරිහඩු සෑය ඉදිකොට වසර 1200 කට පසුවය.
එතෙක් කල් ජනප්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල් ලිපියේ ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරවලිනි.
පේළි 11 කින් යුත් මෙය ශ්ලෝක 11 බවත් ඒවායින් කියවෙන්නේ සෑය වන්දනා කරන ගීත බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
මෙම පුදබිමේ ඇති විශිෂ්ටම නිර්මාණය වන්නේ ගිරිහඬු සෑය මැදි කොටගත් ශෛලමය වටදාගෙයයි.
ක්‍රි.වර්ෂ 733 දී අනුරපුර රජ වූ අග්‍රබෝධි සිලාමේඝ රාජයන්ගේ කාලයේදී කලින් වූ සෑය වටා අද පෙනෙන වටදාගෙය නිර්මාණය වූයේ යැයි අනුමාන කරනුයේ "රත්සල් බතින් ලැව් පහණි" යන සෙල් ලිපිය නිසාය. 
මෙම වටදාගෙය කුළුණු 44 ක් මත ඉදිකොට ඇති බව පෙනේ.
අනුරාධපුර ථූපාරාමය, මැදිරිගිරිය ආදී වටදාගෙවල් වල වහල රඳවා ගල්කණු හිස වෙනම නෙලා සවිකර ඇතත් තිරියාය වටදාගේ ගල්කණු හිසත් සමග තනි ගලෙන්ම නිමවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගිරිහඬු සෑයේ සිව්දෙසින් අලංකාර කැටයමින් යුතු ගල් ආසන 4 කි. මේවා ලියවැල් හා සිංහරූප වලින් අලංකාරවත් වී ඇත. 
මේ ආසන වල සමාධි ප්‍රතිමා තැන්පත් කොට තිබෙන්නට ඇති අතර අද ද එක් සමාධි ප්‍රතිමාවක් ශේෂව පවතී.

එමෙන්ම වටදාගේට දකුණින් හා බටහිරින් ඔත්පිළිම ගෙයක හා හිටිපිළිම ගෙයක නටඹුන් ද හමු වී ඇත.

තිරියාය සෙල් ලිපියට දකුණු දෙසින් ගල පළාගෙන මතු වූ ඇල්දිය උල්පතකි. මෙය රහතන්වහන්සේලා හා භාවනායෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා නිමවා ඇති බව පෙනේ. 
එමෙන්ම මෙහි ඉදිකොට ඇති ලංකාපොකුණ ද අපූර්ව නිර්මාණයකි.
ලංකාවේ හැඩයට නිමවා ඇති මෙම පොකුණට ඇතුළු වීමට දොරටුවක් සහිත ප්‍රාකාරයක් ගලින්ම නිමවා ඇත.
බුදුදහම ලක්දිවට පැමිණීමෙන් පසු මෙම පුදබිමේ ගල්ලෙන් කටාරම් කොටා බ්‍රාහ්මී ලිපි පිහිටුවා මහා සඟරුවනට පුද කිරීමෙන් අනතුරුව වන්දනාමාන කිරීමට විවෘත විය.
පසු කාලයේ මෙහි විවිධ විහාරාංග ඉදිකළ අතර මේ සඳහා විවිධ රජවරු දායකත්වය දැක්වූ බවට ඓතිහාසික සාධක රාශියකි.
මෙම ඓතිහාසික පුදබිම කාලාන්තරයක් වනයෙන් වැසී තිබී පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධෛර්යය නිසා 1929 දී පමණ යළි එළිපෙහෙළි වී දියුණු විය.
1985 න් පසුව දෙමළ කොටි සංවිධානය විසින් එම ස්ථානයේ මෑත ඉදිකිරීම් විනාශ කරන ලද අතර අද වන විට මෙම පුදබිම මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා විවෘතව පවතී.
 

 



13 comments:

  1. කල්ලරාය ද කල්ලරාව ද? 1995 කොටි කල්ලරාව ගමට පහරදීලා එහෙ හිටපු ධිවර ජනතාව කපා කොටා විනාශ කරලා දැම්මට පස්සේ මේ ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජන ශුන්‍ය උනා. කොටි ඒක කරේ උපක්‍රමයක් වශයෙන් නැගෙනහිර මුලතිව් සහ මඩකලපු ප්‍රදේශ අතර සම්භාන්දතාවය තියා ගන්න. නැවත මේ ප්‍රදේශය හමුදාව අතට පත් උනේ 1998 දී. ඉන්පසු නාවික හමුදාව මහත් පරිශ්‍රමයක් දරා මෙය නැවත වන්දනාමාන කල හැකි තත්වයට පත් කරා. 2000 වසරේදී මෙය නැවත විහාරස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ පුණ්‍ය කර්මයට මම සහභාගී උනේ ත්‍රිකුණාමලයේ ඉඳන් අති දුෂ්කර ගමනක් කැලෑ පාරෙන් බොඩි ආමර් හෙල්මට් එහෙම දාගෙන ගිහින්.. :) 2009 වසරේදී මම මේ ප්‍රදේශය බාරව රාජකාරි කරා. හරිම සුන්දර මතකයන්.. ස්තුතියි නැවත අලුත් කරාට..

    ReplyDelete
    Replies
    1. ටික දවසකට පෙර මේ ස්ථානය නරඹන්න යද්දීත් නාවික හමුදාව ගැවසුණා. කල්‍යාණ මිත්‍රලාගේ කැපවීමට මගේ ගෞරවය.
      ත්‍රිකුණාමලයේ ඉඳන් අති දුෂ්කර ගමනක් කැලෑ පාරෙන් බොඩි ආමර් හෙල්මට් එහෙම දාගෙන යද්දි කාපු කට්ට හිතාගන්න පුළුවනි.

      Delete
    2. ඔබගේ අවධානය ගැන මෙන්ම අදහස් දැක්වීම ගැනත් ස්තූතියි.
      දැන් කල්ලරාව ලෙසින් හැඳින්වූවාට මුල් මූලාශ්‍රවල සඳහන් වන්නේ කල්ලරාය ලෙසින්.
      කාලයත් එක්ක එහෙම වෙනස්කම් වෙනව නේද...

      Delete
    3. වෙන්න පුළුවන්. ඔතන ඒ කියන්නේ යාන් ඔය මුහුදට වැටෙන තැන මුලින් හඳුන්වලා තියෙන්නේ 'ගල් වරාය' ලෙස.. එතනින් තමයි තපස්සු භල්ලුක ගොඩ බැස්සා කියන්නේ. ගල් වරාය දෙමල ඌරුවට කියද්දී කල් වරාය- කල්ලරාය වෙනවා..

      මෙතන ඉඳලා අනුරාධපුරේට යනකම් ඒ කාලේ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත්ත මාර්ගයේ ගල් පාලම බලන්න ගියේ නැද්ද? එවන් ගල් පාලම තුනක් හෝ හතරක් මං දන්නා තරමින් තිබිලා තියෙනවා. මං දැකලා තියෙන්නේ මෙතන තියන එකයි අනුරාධපුරේ එකයි විතරයි.

      Delete
    4. මේ ගැන වැඩි විස්තර දැනගෙන හිටියෙ නැහැ.දැනසිටියා නම් බලන්න තිබුණා.ස්තුතියි,තොරතුරු වලට .

      Delete
  2. සෑහෙන දවසකින් අපූරු විස්තරයකුත් රැගෙන ආපු එක ගැන සතුටුයි.
    ඓතිහාසික තොරතුරුත් එක්කම ඉදිරිපත් කරලා තියෙන නිසා පෝස්ට් එකේ වටිනාකම වැඩියි.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අවිවේකීබව නිසා මග හැරුණා. ඉදිරියේදී දිගටම ලියන්නම්. ඔබලාගේ දිරිගැන්වීම මට ශක්තියක්.

      Delete
  3. ටික කලක් නිහඬව සිට මෙවන් සැඟවුණ තොරතුරු එක්ක යළි කරළියට ඒම ගැන සතුටුයි. ඇත්තෙන්ම මේ පෞරාණික ස්ථානය වල්වැදී සැඟවී යා නොදී යළි මතුකොට ගැනීම අදාළ බලධාරීන්ද අගේ කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙවන් ස්ථාන සංරක්ෂණය කොට ජනතාවට දැක බලාගන්න ඉඩහැරීම වැදගත්.
      නිහඬ වුණා නොවේ අවිවේකී වුණානේ.

      Delete
  4. ගොඩක් වැදගත් ලිපියක්. පින්තූර ටිකනම් ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.මේ පින්තූර ගත්තේ මං.

      Delete
  5. ගිරිහඬු සෑය ඉදි කළේ තපස්‌සු - භල්ලුක නොවේ

    මහාවංශයෙන් වසන් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්‌තූපය යන හිසින් ඊ. එම්. තිස්‌සකුමාර මහතා විසින් 2014 අප්‍රේල් 02 වැනි දින "දිවයින" බදාදා අතිරේකයෙහි පළ කර තිබූ ලිපිය පවත්නා මිථ්‍යාවක්‌ තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා ගත් උත්සාහයක්‌ බව පෙන්වා දීමට කැමැත්තෙමි.

    ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 45 ක්‌ පමණ උතුරෙන් මුහුදු වෙරළට මදක්‌ බටහිරින් තිරියාය යන ද්‍රවිඩ ගමෙහි පිහිටි ඉපැරණි පුදබිම අපේ පැරණි පොත් පත්වල සඳහන් වන්නේ ගිරිකණ්‌ඩ මහා විහාරය, ගිරිහඬු වෙහෙර යන නම්වලිනි. මෙම වෙහෙර ඉදිකරන ලද්දේ බුදුන් වහන්සේගේ පළමු උවසුවන් වූ තපස්‌සු හා භල්ලුක යන දෙසොහොයුරන් විසින් බුදුන්ගෙන් ලබාගත් කේශධාතුව නිධන් කිරීමෙනැයි යන්න ඉතිහාසයෙන් හෝ පුරාවිද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි මිථ්‍යාවකි. මෙම අතිශය සාවද්‍ය මතය පැතිරී ඇත්තේ මෙහි ඇති සංස්‌කෘත භාෂාවෙන් රචිත සුප්‍රසිද්ධ සෙල්ලිපියේ අවසන් ශ්ලෝකයේ එන "ත්‍රපුස්‌සකෛර් වල්ලිකකෛර් වණිග්ගණෛඃ කෘතං ගිරිකණ්‌ඩ චෛත්‍යයම්" යන පාඨයේ නියම අර්ථය සාවද්‍ය ලෙස තේරුම් ගැනීම නිසාය. තපස්‌සු - භල්ලුක ප්‍රමුඛ වෙළෙඳුන් පිරිසක්‌ විසින් මෙහි ගෙනෙන ලද කේශධාතුව ගිරිහඬුවෙහි තැන්පත් කිරීම නිසා ගිරිහඬු වෙහෙර ඇතිවිය යන දඹදෙණි යුගයෙහි රචිත පූජාවලිය නම් සාහිත්‍ය කෘතියෙහි එන සඳහනද මේ මිථ්‍යාව පැතිරීමට තවත් ප්‍රබල ආධාරකයක්‌ වී ඇත.

    දකුණු ඉන්දීය පල්ලව ග්‍රන්ථ අක්‌ෂරවලින් ලියා ඇති මේ සෙල්ලිපිය ප්‍රථමයෙන් කියවන ලද්දේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසිනි. යථෝක්‌ත සෙල්ලිපි පාඨය එතුමා විසින් පරිවර්තනය කරන ලද්දේ ත්‍රපුස්‌සක සහ වල්ලික යන වෙළෙඳ ගණයන් විසින් පිහිටුවන ලද ගිරිකණ්‌ඩික චෛත්‍යය යනුවෙනි. එහෙත් ඉන් කියෑවෙන අර්ථය සත්‍යයෑයි එතුමා කිසි විටෙකත් පිළිනොගත්තේය. මේ සෙල්ලිපිය පිළිබඳ ස්‌වකීය විවරණයේදී එතුමා දැඩිව ප්‍රකාශ කළේ එම ලිපිය පිහිටුවන ලද කාලයෙහි එවැනි විශ්වාසයක්‌ මෙරට පැවැති බව පමණකි.

    මෙම සෙල්ලිපිය දකුණු ඉන්දියාවේ ඌටකමන්ඩිහි පුරාවිද්‍යා මධ්‍යස්‌ථානයෙහි සෙල්ලිපි විශේෂඥ බී. සී. ඡබ්රා (B.C Chabbra) මහතා විසින් ද කියවන ලදී. එහි සම්පූර්ණ පෙළම සාර්ථකව කියවීමට ඔහුට හැකිවිය. මේ ලිපිය සංස්‌කෘත පද්‍යයෙන් ලියා ඇති බවත් එහි මුල් ශ්ලෝක 10 නර්දටක නමැති විරල විරිතෙන් හා ඉතිරි ශ්ලෝකය උපජාති නම් විරිතෙන්ද රචනා කර ඇති බවත් ඔහු අනාවරණය කළේය. අන්තිම ශ්ලෝකයෙහි ඇති පෙර සඳහන් පාඨය ආචාර්ය ඡබ්රා විසින් ඉන්දීය ආණ්‌ඩුවේ ශිලාලේඛන විශේෂඥ ආචාර්ය රාම් බහදුර් කේ. එන්. දික්‌ශිත් මහතා වෙතද යොමු කර ඇත. මෙම පාඨය පිළිබඳ ව්‍යාකරණ විශ්ලේෂණයකින් පසු දික්‌ශිත් මහතා පෙන්වා දී ඇත්තේ ඉන් පැවසෙන්නේ ත්‍රපුස්‌සුක හා වල්ලික යන වෙළෙඳ ගණයන් විසින් ගිරිකණ්‌ඩික චෛත්‍ය ඉදිකළ බවක්‌ නොව ත්‍රපුස්‌සක හා වල්ලික යන දෙදෙනා අනුගමනය කළ වෙළෙඳුන් පිරිසක්‌ විසින් එය ඉදිකර ඇති බවය. මෙම අර්ථකථනය පරණවිතාන හා ඡබ්රා යන වියතුන් දෙදෙනා විසින්ද පිළිගනු ලැබීය. මෙම විද්වත් අර්ථකථනයෙන් පැහැදිළි වන්නේ ගිරිහඬු වෙහෙර තපස්‌සු භල්ලුක නමින් පෙනී සිටි වෙළෙඳුන් පිරිසක්‌ විසින් අටවැනි සියවසේදී ඉදිකරන ලද බවය.

    මේ සෙල්ලිපිය පිළිබඳ සියලු අර්ථකථනයන් පරණවිතාන සූරීන් විසින් සංස්‌කරණය කරන ලද ලංකා ශිලාලේඛන සංග්‍රහයේ (Epigrahia Zeylanica) 4 වැනි වෙළුමෙහි (1934-19419) අංක 18, 39, සහ 40 යන පරිච්ඡේදවල දැක්‌වේ. බුදුරදුන්ගේ ජීවමාන කාලයෙහි මෙරට ඉදිකළ ප්‍රථම සිද්ධස්‌ථානය මේ ගිරිහඬු සෑයය යන අතිශය සාදව්‍ය මතය පැන නැගී ඇත්තේ තිරියාය සෙල්ලිපිය පිළිබඳ ඉහත සඳහන් විද්වතුන් පළකර ඇති කරුණු අධ්‍යයනය නොකර එහි අවසන් ශ්ලෝකයේ අවසන් පාදයේ මතුපිට වාච්‍යාර්ථය පමණක්‌ සලකා බැලීම නිසාය. තිස්‌සකුමාර වැනි ආධුනිකයින් පමණක්‌ නොව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වු ඇම්. එච්. සිරිසෝම (The Vatadage at Thiriyaya 1983 8 වැනි පිටුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි) සහ පුරාවිද්‍යා චක්‍රවර්ති, එල්ලාවල මේධානන්ද හිමි (පාචීනපස්‌ස, උත්තරපස්‌ස, නැගෙනහිර පළාත් උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, 2008, පිටුව 359) වැනි ප්‍රවීණයන්ද මේ සාවද්‍ය මතය දැරීම කනගාටුවට කරුණකි.

    refer to the link to read the rest
    --සුමනදාස රත්නතිලක---
    Quoted from Divaina Website
    http://www.divaina.com/2014/05/21/badada03.html

    ReplyDelete
    Replies
    1. පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයින්ව ප්‍රශ්න කරන සුමනදාස රත්නතිලක යනු කවුරුන්දැයි හා ඔහුගේ පර්යේෂණ මොනවාදැයි දැනගනු රිසිමි.

      Delete