Tuesday, February 2, 2016

ලොව පළමු දාගැබ ගිරිහඬු මහා සෑය....

බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් ලෙස ස්ථූපය හදුන්වා දිය හැකිය.
ස්ථූපයක් ගොඩනගන්නේ පූජනීයත්වයට පත්වූවන්ගේ ධාතු තැන්පත් කිරීමෙන් වන අතර එය තැනිය යුත්තේ කවුරුන් උදෙසාද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. බුදු, පසේබුදු, මහරහත්, සක්විතිරජ යන සිව් දෙනා වෙනුවෙන් පමණක් ස්ථූප ගොඩනගන ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ලැබූ තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ කේශ ධාතු නිදන් කොට දාගැබක් කරවූ බව පූජාවලියේ සදහන් වේ.
මෙය ලෝක බෞද්ධ ස්ථූප ඉතිහාසයේ ආදිතම ප්‍රවෘත්තියයි.
ත්‍රිකුණාමල දිසාවේ කට්ටිකුලම් පත්තුවේ යාන් ඔය මුහුදට ගලා බසින තිරියායේ කල්ලරාය අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 212 ක් උස් වූ පුරාතනයේ ගිරිකණ්ඩ පර්වතය මෙන්ම ගිරිහඬු ගිරිකඬ නමින්ද හැදින් වූ පර්වතය මුදුනේ පිහිටි ගිරිහඬු සෑය නීතුපත්පාන විහාරය නමින්ද හදුන්වයි. ද්‍රවිඩ ජනයා තිරියාය මලේ හා කන්දසාමි මලේ නමින්ද හදුන්වන්නේ මෙයයි.
මුල්කාලයේ ගිරිකණ්ඩය නමින් හැදින්වූ මෙය නීතුපත්පාන වූ ආකාරය ගැන ජනප්‍රවාද දෙකකි.
වෙළඳ නායකයන් පැමිණි ගල්තලය යන අර්ථයෙන් "නෙතු පතන පාසාන" යන වචනය ජනතා ව්‍යවහාරයේදී නීතුපත්පාන වූ බව එක් ජනප්‍රවාදයකි.
එමෙන්ම නිතිපතා දැල්වුණ පහනක් තිබෙන ස්ථානය පසුව නීතුපත්පාන වූ බව අනෙක් ජනප්‍රවාදයයි.
මෙම ජනප්‍රවාදයන් කෙසේ වූවද ගිරිහඬු සෑය නීතුපත්පාන විහාරය නමින්ද පුරාතනයේ හඳුන්වා ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
ගිරිහඬු සෑය හා බැඳුණු අපූරු කතා පුවතක්ද තිබේ.
බුද්ධත්වයට පත් වූ බුදුන්වහන්සේ, බුද්ධත්වයට පත්ව 50 වන දිනයේදී තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලඳ හා මී පැණි ප්‍රථම දානය ලෙස පිළිගත් බව පූජාවලිය සඳහන් කරයි.
දානය පිළිගැන්වීමෙන් සතුටට පත් වෙළෙඳුන් වැඳුම් පිදුම් සඳහා යමක් ඉල්ලා සිටි බවත්, බුදුන්වහන්සේ හිස පිරි මැද කේශ ධාතූන් ලබාදුන් බවත් පූජාවලිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කේශ ධාතූන් රැගෙන උත්තලා නගරයේ සිට පෙරදිග වෙළඳාමට යන අතරතුර මොවුන් ලංකාවට ගොඩබට බවත්, එම ස්ථානය ත්‍රිකුණාමලය, කුච්ඡවේලිය ප්‍රදේශයේ ගල්වරාය බවත් තවදුරටත් සඳහන් වන අතර මොවුන් යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට පැමිණ සුරක්ෂිත ස්ථානයක කේශ ධාතූන් තැන්පත් කොට ආහාරගත් බවත්, ආපසු යාමට සූදානම්ව කේශ ධාතූන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඒවා ඉවත් කරගත නොහැකිව එම ස්ථානයේම නිදන් කොට ගිරිහඬු සෑය ඉදිකළ බවත් ඓතිහාසික ලේඛනවල සඳහන් වේ.
මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය ගිරිහඬු මහා වෙහෙර බවට ඓතිහාසික සාධකයන් රැසක් ද හමුවී තිබේ.
මෙම ගිරිගඬු පව්වේ වූ විශාල සෙල් ලිපියක් 1929 දී හමු වූ අතර එම ලියවිල්ලට අනුව තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් ඉදි කළ කේශ ධාතූ චෛත්‍යය ගිරිහඬු සෑයම බව රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත.
තිරියායේ සෙල් ලිපිය ලෙස හැඳින්වෙන්නේ ගිරිහඬු සෑයෙන් සොයාගත් මෙම ලියවිල්ලයි.
ආදිම ලංකා ඉතිහාසයේ මැකීගිය තොරතුරු තිරියාය සෙල් ලිපියෙන් අනාවරණය වේ.
මෙමගින් ගිරිහඬු සෑයේ පුරාවෘත්තය සදාකාලයටම සුරැකෙන සේ ලියැවී තිබේ.
පූජාවලියේ සඳහන්වන වෙළෙඳ දෙබෑයන් ත්‍රිකුණාමලයේ තිරියායට පැමිණි බවද තිරියාය සෙල් ලිපිය සනාථ කරයි.
ගිරිහඬු කඳුමුදුනේ පිහිටි ගල් ලෙන්වල බ්‍රාහ්මීය අක්ෂර අකාරයේ ලියවිලි හමුවී ඇත.
සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අඩි 20 පමණ දිගට ලියැවුණු තිරියාය සෙල් ලිපිය ලියා ඇත්තේ අග්‍රබෝධි සිලාමේඝ රජසමයේ දී බව පැවසේ. 
එනම් ගිරිහඩු සෑය ඉදිකොට වසර 1200 කට පසුවය.
එතෙක් කල් ජනප්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල් ලිපියේ ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරවලිනි.
පේළි 11 කින් යුත් මෙය ශ්ලෝක 11 බවත් ඒවායින් කියවෙන්නේ සෑය වන්දනා කරන ගීත බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
මෙම පුදබිමේ ඇති විශිෂ්ටම නිර්මාණය වන්නේ ගිරිහඬු සෑය මැදි කොටගත් ශෛලමය වටදාගෙයයි.
ක්‍රි.වර්ෂ 733 දී අනුරපුර රජ වූ අග්‍රබෝධි සිලාමේඝ රාජයන්ගේ කාලයේදී කලින් වූ සෑය වටා අද පෙනෙන වටදාගෙය නිර්මාණය වූයේ යැයි අනුමාන කරනුයේ "රත්සල් බතින් ලැව් පහණි" යන සෙල් ලිපිය නිසාය. 
මෙම වටදාගෙය කුළුණු 44 ක් මත ඉදිකොට ඇති බව පෙනේ.
අනුරාධපුර ථූපාරාමය, මැදිරිගිරිය ආදී වටදාගෙවල් වල වහල රඳවා ගල්කණු හිස වෙනම නෙලා සවිකර ඇතත් තිරියාය වටදාගේ ගල්කණු හිසත් සමග තනි ගලෙන්ම නිමවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගිරිහඬු සෑයේ සිව්දෙසින් අලංකාර කැටයමින් යුතු ගල් ආසන 4 කි. මේවා ලියවැල් හා සිංහරූප වලින් අලංකාරවත් වී ඇත. 
මේ ආසන වල සමාධි ප්‍රතිමා තැන්පත් කොට තිබෙන්නට ඇති අතර අද ද එක් සමාධි ප්‍රතිමාවක් ශේෂව පවතී.

එමෙන්ම වටදාගේට දකුණින් හා බටහිරින් ඔත්පිළිම ගෙයක හා හිටිපිළිම ගෙයක නටඹුන් ද හමු වී ඇත.

තිරියාය සෙල් ලිපියට දකුණු දෙසින් ගල පළාගෙන මතු වූ ඇල්දිය උල්පතකි. මෙය රහතන්වහන්සේලා හා භාවනායෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා නිමවා ඇති බව පෙනේ. 
එමෙන්ම මෙහි ඉදිකොට ඇති ලංකාපොකුණ ද අපූර්ව නිර්මාණයකි.
ලංකාවේ හැඩයට නිමවා ඇති මෙම පොකුණට ඇතුළු වීමට දොරටුවක් සහිත ප්‍රාකාරයක් ගලින්ම නිමවා ඇත.
බුදුදහම ලක්දිවට පැමිණීමෙන් පසු මෙම පුදබිමේ ගල්ලෙන් කටාරම් කොටා බ්‍රාහ්මී ලිපි පිහිටුවා මහා සඟරුවනට පුද කිරීමෙන් අනතුරුව වන්දනාමාන කිරීමට විවෘත විය.
පසු කාලයේ මෙහි විවිධ විහාරාංග ඉදිකළ අතර මේ සඳහා විවිධ රජවරු දායකත්වය දැක්වූ බවට ඓතිහාසික සාධක රාශියකි.
මෙම ඓතිහාසික පුදබිම කාලාන්තරයක් වනයෙන් වැසී තිබී පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධෛර්යය නිසා 1929 දී පමණ යළි එළිපෙහෙළි වී දියුණු විය.
1985 න් පසුව දෙමළ කොටි සංවිධානය විසින් එම ස්ථානයේ මෑත ඉදිකිරීම් විනාශ කරන ලද අතර අද වන විට මෙම පුදබිම මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා විවෘතව පවතී.