Monday, July 27, 2015

ආගමික සහජීවනයෙන් ඔප නැගුණු සෙල්මුවා නිමැවුම .. ..... නාලන්දා ගෙඩිගෙය.....


මාතලේ දිස්ත්‍රික්කය බොහෝ ඵෙතිහාසික ස්ථාන වලට උරුමකම් කියනු ලබන අපූරු ස්වභාව සෞන්දර්යාත්මක පරිසරයකින් සුසැදි සුන්දර ප්‍රදේශයකි.

ලොව අටවන පුදුමය ලෙස සැලකෙන කුවේර රජදහන සීගිරිය ද , නොසිදෙන දිය බිදුවකින් තලියක් පුරවාලන්නට ශතවර්ෂ ගණනක් පුරා වෙහෙසෙන දඹුලු රජමහා වෙහෙර මෙන්ම සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ මාතලේ අළුවිහාරයද ආසන්නයේ ඵෙතිහාසික, වාස්තු විද්‍යාත්මක මෙන්ම ආගමික වටිනාකමක් සහිත අපූරු ‍ශෛලමය නිර්මාණයක් විරාජමාන වේ.

බෞද්ධ හා හින්දු දහමේ සංකලනයක් ලෙස සිංහල හා පල්ලව වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් සමන්විතව මෙරට ඉදිවූ එකම පුදබිම ලෙස සැලකෙන මෙම අපූරු නිර්මාණය නාලන්දා ගෙඩිගෙය යි.

නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය ලංකාවේ හරි මැද ලෙසද සැලකේ.

වහල තනි ගලෙන් තැනූ පිළිම ගෙවල් ගෙඩිගෙය යනුවෙන් හදුන්වනු ලබන අතර වහල තනි කළුගලින් නිර්මාණය වූ ලංකාවේ හමු වන එකම නිර්මාණය ද නාලන්දා ගෙඩිගෙය යි.

මෙම නාලන්දා ගෙඩිගෙය ඉදිකිරීම හා සම්බන්ධ අපුර්ව පුරාවෘත්තයක්ද පවතී.

නාලන්දා නම් දෙමළ කුමාරයෙකු තම ආගම ඇදහීම උදෙසා කෝවිලක් ඉදිකරවා වැදුම් පිදුම් කළ අතර ඒ අසල බෝධි වෘක්ෂයක් මුල භාවනානුයෝගීව සිටි භික්ෂූන් වහන්සේ නමකට ගල් මුල් වලින් පහරදී පලවාහැරීම නිසා ඇති වූ දේව කෝපයෙන් මිදීම සදහා එම භික්ෂූන් වහන්සේ නැවත වඩමවා මෙම ස්ථානය විහාරයක් බවට පත් කොට දී ති‍බේ.

පරම ආයුෂ වැඩූ භික්ෂූන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ආදාහනය කළ භෂ්මාවශේෂ නිදන් කර එහිම ස්ථූපයක් කරවා ඇති අතර එය නාලන්දා ගෙඩිගෙය නමින් නම් ලද්දේය.

එමෙන්ම නාලන්දාවට නම ලැබූ ආකාරය පිළිබඳව ආර්.එල්.බ්‍රෝහියර් මහතාගේ මතය මීට සපුරාම වෙනස්ය.


නාලන්දා ඔයේ තැන්නේ ඉදිවුණු ගෙඩිගෙය ඔයේ නමින්ම හැදින්වීම කාලයක සිටම පැවත ඇති බවයි ඔහු පවසන්නේ.


කෙස් වුවද ධාතුසේන රජුන් විසින් ඉදිකළ කලා ඔයට හා බළලු වැවට ජලය හරවා ගත් අඹන් ගඟේ ජලයට පෝෂිතයක් වූ මාතලේ නාලන්දා ඔය පුදබිමේ නමටද ආදේශ වී යැයි සිතිය හැක.


මෙම නාලන්දා ගෙඩිගෙය පැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණයක් වූ ගිංජිකාවත්ත සහිත වහල ක්‍රමය මෙම නිර්මාණය සදහා පියස්ස කොට ගෙන ඇත.
උස් ගල් පුවරු වේදිකාවක් මත පිහිට වූ මෙම ගෙඩිගෙය දකුණු ඉන්දියානු පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහනිර්මාණත්මක ලක්ෂණ වලින් යුතුව නිමවූවකි.

8
වන හෝ 10 වන සියවසට අයත්යැයි සැලකෙන මෙම නාලන්දා ගෙඩිගෙය බෞද්ධ හා හින්දු යන දෙපිරිසම වෙනුවෙන් කළ නිර්මාණයක් ලෙසද සැලකේ. මෙම ගෘහය තුළ බුදුපිළිම මෙන්ම හින්දු ප්‍රතිමාද දක්නට ලැබේ.


නාලන්දා ගෙඩිගෙයෙහි බිම්මහල හා මතුපිට සැකැස්ම බෞද්ධාගමික ආභාසයට ඉදිකර ඇති අතර ප්‍රවේශය හා ශාලාව හින්දු ආගමික ආභාසයට නිර්මාණය කර ඇත.

සදකඩපහ, කිඹුල් රුවක් සහිත ගරාදි වැට, වාමන රූප හා දොර පියන් තුළ ඇත්තේ සිංහල කලා ශිල්පීන්ගේ නිපුණත්වයයි.


උළුවහු, කුළුණු හා මණ්ඩප පල්ලව සම්ප්‍රදායෙන් යුක්ත වේ.
ගෙඩිගෙය ඉදිරිපස ඇති ධනයට අධිපති කුවේරගේ රුව පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ විග්‍රහ කර ඇත.


"චතුරශ්‍රාකාරව නෙළා ඇති කුවේරයාගේ පිළිරුව, ගෑවී - නොගෑවී නිධාන ගබඩාව උඩ හිඳිමින් සිටිනූ පෙනේ. පද්ම නිධියෙන් හෝ සංඛ නිධියෙන් හිඳගන්නා කුවේරයා මෙහි හිඳගෙන සිටින්නේ චතුරශ්‍රාකාර වූ නෙළුමක් මතය. මෙවැනි අසාමන්‍ය ඉදිරිපත් කිරීමක් භාරත දේශයේ හෝ ලොව කොතැනකවක් නැත".


මෙහි බුදුගෙයක් දක්නට ඇති අතර එහි වැඩසිටින හිටි පිළිමයකි. ඊට අමතරව මෙහි ස්ථූපයක්ද පිහිටා තිබේ. සතරැස් මළුවක පිහිටි මෙම ගෙඩිගෙය එතරම් විශාල වූ නිර්මාණයක් නොවේ. එසේම මෙම ගොඩනැගිල්ල අවට කිසිදු නටඹුන් ගොඩනැගිලි දක්නට නොමැති අතර මෙම ගෙඩිගෙය හුදකලාවම පිහිටීම විශේෂ ලක්ෂණයක් වේ.
හින්දු කෝවිලක හැඩයට නිමවා ඇති මෙහි අභ්‍යන්තරයේ ඇත්තේ බුදුපිළිම වීම වි‍ශේෂත්වයකි.

මීටර 25 ක පමණ වටප්‍රමාණයකින් නිර්මාණය කර ඇති නාලන්දා ගෙඩිගෙය විශාල ගල් පුවරු වලින් බිත්ති ද කළුගල් උපයෝගී කරගෙන වහලය ද නිමවා ඇත. මෙහි වහලය ද විස්මයජනක නිර්මාණයකි.


එනම් මෙහි පියැස්ස කළුගල් වලින්ම සකසා ඇති අතර එහි වක්‍ර හැඩය ගලින්ම මනාව සකස් කොට ඇත. මෙවැනි ක්‍රමයට වහලය සකස් කොට ඇති ලංකාවේ එකම නිර්මාණය ද මෙයයි.

මහවැලි ජලය වියලි කලාපයේ රජරටට ගෙන යන ගමනේ අතරමග ඉදිවූ බෝවතැන්න ජලාශයෙන් නාලන්දා ගෙඩිගෙය ද යටවීමට නියමිතව තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගෙඩිගෙය අඩි 23 උස් මළුවකට ගෙන එනු ලැබීම විස්මයජනක කාර්යයකි.


ඒ අනුව දැනට නාලන්දා ගෙඩිගෙය පිහිටා ඇත්තේ නියම ස්ථානයේ නොවන අතර ස්ථාන මාරුවක් කොට තිබේ.

මේ හේතුව නිසාම නාලන්දා ගෙඩිගෙය පිළිබඳ බොහෝ තොරතුරු ඉතිහාසයෙන් සැඟව ගොස් ඇත.

ශතවර්ෂ ගණනාවකට පෙර විසූ ශ්‍රී ලාංකීය ජනී ජනයාගේ ආගමික සහජීවනය පිළිබඳ ඵෙතිහාසික සාධක බොහොමයක් දරාගෙන නාලන්දා ඔය අසබඩ සොදුරු තැනිතලාවේ පිහිටි නාලන්දා ගෙඩිගෙය අද ද හුදකලාවම නොසැලී සිටී.










Thursday, July 16, 2015

අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන - බෙලිලෙන


කිතුල්ගල ඉංඔය වත්තේ රළු බොරළු කන්ද නගිමින් සැතපුම් ගණනක පා ගමනින් ගරා වැටුණු ගල්පඩි මතින් දුෂ්කර ගමනක් ගෙවා බෙලි ලෙනට ලඟා විය යුතුය.

එය වසර දහස් ගණනකට එපිට දී අපගේ ආදිතම මුතුන්මිත්තන් ජීවත් වූ නිවහනක් විය. ලෙන් ද්වාරයෙන් ඉහළ සිට පෙණ විසුරුවමින් ඇද හැලෙනා කුඩා දිය ඇල්ල ඉතා සුන්දර දර්ශනයකි.

අඩ සඳක් වන් ලෙන් දොර අතරින් පෙනෙන අඳුරු වනපෙතින් ගැවසී ගත් ගිරි දුර්ග සිත් තුළ භයංකාරත්වයක් නැංවුව ද, ලෙනට පහලින් පෙනෙන හරිතවර්ණ තේ හා රබර් වතුයායන්හි සුන්දරත්වය සිතට චමත්කාරයක් දනවයි.


ගොළුබෙල්ලන් අධිකව හමුවන නිසා බෙලිලෙන යයි නම් ලැබූ මේ ස්ථානය ලෙන් තුනකින් යුක්ත ය. ලෙන් ද ඇතුළත් අක්කර 28ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් නම් කර ඇත. කැණීම් කර ඇත්තේ මැද පිහිටි විශාල ලෙනෙහි ය.

අදින් අවුරුදු 25000 ක් අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී ඇත. ලෙන තුළින් මිනිස් ඇටසැකිලි කොටස් හමු වී ඇත.

කිතුල්ගලින් අවම තරමින් පුද්ගලයන් 30 දෙනෙකුගේ අස්ථි හමුවී තිබේ. එදා මධ්‍ය ශිලා යුග මානවයා ගත කළ සරල ජීවිතයට අවශ්‍ය ආයුධ තනා ගත්තේ ද ඉතා සරල ලෙස ය. ප්‍රධාන වශයෙන් භාවිත කර ඇත්තේ මුවහත් උල් කුඩා ගල් මෙවලම් ය. ඒවා ක්ෂුද්‍ර ශිලා මෙවලම් නමින් හඳුන්වයි. බෙලි ලෙන කැණීම්වලින් මීට වසර 27000 සිට 34000 දක්වා ඈත යුගයකට අයත් ශිලා අවි ලැබී තිබේ.


සත්ත්ව ඇටකටු, දත්, අං ආදී කොටස් ආයුධ තැනීමට යොදාගෙන තිබේ. වඳුරා, අලියා, මුවා, ගෝනා, මී හරකා වැනි සතුන්ගේ අස්ථි කොටස්වලින් මෙම ආයුධ තනාගෙන ඇත.

පබලු වැනි ශරීර අලංකරණ ආභරණ හමුවීමෙන් පෙනෙන්නේ මේ ආදි මානවයා යම්කිසි කලා රසඥතාවකින් යුක්තව සිටි බව ය. පාට තනා ගැනීමට ගත් ගුරුගල් අඹරන ගල් හමුවීමෙන් ද ඒ බව පැහැදිලි වේ.

මධ්‍ය ශිලා යුග මිනිසා ආහාර වගා කිරීමට හුරුවී නොසිටි අතර, ප්‍රධාන යැපුම් මාර්ගය වූයේ දඩයම යි. මෙසේ දඩයම් කළ සතුන් අතර ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ මිනිසාගේ ළඟම නෑදෑයා වූ වඳුරා ය.

තවත් ප්‍රධාන ආහාරයක් වූයේ ගස් ගොළුබෙල්ලන් ය. බෙලිලෙන කැණීම් වලින් හමු වූ ආකාවුස් ගණයේ ගොළුබෙල්ලන් වසර 12500-10500 ක අතීතයකට අයත් බව හෙළවී ඇත. මේ කටු සැමෙකකම තියුණු අවියකින් කරන ලද සිදුරක් දැකගත හැකි ය. ඒ සිදුරු මස් පිටතට ගැනීමට හාරන ලද ඒවා යයි මතයකි.

බෙලිලෙන මානවයා එක් තැනකට සීමා නොවූ බවත් තම අවශ්‍යතා සඳහා රට පුරා සංචාරය කළ බවත් පැහැදිලි වන සාධක ලැබී ඇත. එසේ බොහෝ දුර බැහැරින් රැගෙන ආ ද්‍රව්‍යයකි, ලුණු. ඒ බව සනාථ කරන්නේ බෙලිලෙනෙන් හමුවන ලුණුවල දැකගත හැකි මුහුදු බෙලිකටු ය. අද මෙන්ම එදාත් මිනිසාට ලුණු නැතිවම බැරි ද්‍රව්‍යයක් විය.

අනෙක් වැදගත් කරුණ වන්නේ මෙහි ලෙන ඉදිරියෙන් හමුවූ පැරණි ගල් බැම්මයි. එය ශ්‍රිලංකාවේ පෙදරේරු ශිල්පය සම්බන්ධයෙන් හමුවී ඇති පැරණිම සාක්ෂිය ලෙස සැලකේ.


මෙහි ජීවත්වූවන් මධ්‍ය ශිලා යුගයට අයත්ය. හෝමෝසේපියන් බලන්ගොඩෙන්සිස් යන නමින් හඳුන්වන මොවුන් පිළිබඳ සාක්ෂි මුලින්ම හමුවී ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයෙනි.
බෙලි ලෙනට අමතරව ලංකාවේ බොහෝ තැන් වලින් අප රටේ විසූ ආදිවාසීන් සම්බන්ධ තොරතුරු හමුවී ඇත. පාහියන් ගල, බටදොඹ ලෙන, බටතොට ලෙන, ඇඹිලිපිටිය රංචමඩම, අලවල ඉන් ප්‍රධානය. 

ආදී මානවයින් සම්බන්ධයෙන් ලංකාවට විශේෂ තැනක් හිමිවන්නේ ආසියාවේ පැරණිම මානවයන් ලෙස සැලකෙන සුප්‍රකට පීකිං මානවයා මෙන්ම ජාවා මානවයාටද වඩා බලන්ගොඩ මානවයා ඉපැරණි වීමයි. බලන්ගොඩ මානවයාගේ ඉතිහාසය දිවයන්නේ මින් වසර 37000 ක් පමණ පෙර අතීතයකටය.

ඉතිහාස කරුණු කෙසේ වුවද මෙහි වාසය කළ මුතුන්මිත්තන් අවට පරිසරයේ චමත්කාරය විඳිමින් කොතෙක් නම් සරල සොඳුරු දිවියක් ගත කරන්නට ඇත්දැයි බෙලි ලෙන අවට පරිසරය සිසාරා නෙත් යවන සැමටම දැනෙන සත්‍යකි.






Monday, July 13, 2015

ධනකුවේරයකුගේ කතාව සැඟව ගත් මහා මැදුර රිච්මන්ඩ් කාසල්ස් මන්දීරය......


ස් යොදුන් රට නමින් අතීතයේ දී හඳුන්වන ලද කළුතර, බොහෝ ප්‍රභූන්ට නිජබිම වූ ප්‍රදේශයකි.සුන්දර කළු ගං මිටියාවතේ ඉදිවූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මහා මන්දීරයක් හා එහි ජීවත් වුවන්ගේ ශෝචනීය කතා පුවත අදටත් කළු ගං තැනිතලාවේ ජීවත් වන්නන්ගේ මුවග තුඩ තුඩ පැතිර යන්නකි.

එනම් දශක තුනක පමණ කාලයක් කළුතර විසූ ජනයාගේ දුක සැපට පිහිට වුූ උදාර නායකයෙකු මෙන්ම මහා ධනකුවේරයකු වූ මහමුදලි වරයෙක් සියළු සැප සම්පත් හැරදා දරුවන් නොමැති වේදනාවෙන් සියල්ලන්ගෙන්ම වෙන්ව ගොස් හුදකලාව මිය ගිය පුවත සැඟවී ගත් මහා මන්දීරයක් පිළිබඳ වූ ශෝචනීය කතා පුවතයි.


ඔහු නමින් යටත් විජිත සමයේ කළුතර දිසාව බාරව සිටි මහමුදලි, දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා ය.


මුල් යටත්විජිත පාලන සමයෙහි මුහුදුබඩ ප්‍රදේශවල වාසය කළ ජනයා කඳුරටට හා දකුණට පළාගිය අතර එකල දකුණට පළා ගිය සිංහල වංශවතෙකුගෙන් පැවත එන ආතර් ද සිල්වා යුරෝපයට ගොස් අධ්‍යාපනය ලැබූවෙකි.

රට රටවල සංචාරය කළ මොහු ඉංදියාවේ මහාරාජාවරයෙකුගේ මාලිගාව නරඹා එවැන්නක් ඉදිකිරීමට නොතිත් ආශාවක් අැති වී මහාරාජාගෙන් මන්දිරය‍ේ සැලැස්ම ඉල්ලු අවස්ථාවේදී අවඥාවෙන් සිනාසුණු මහාරාජාවරයා ඊට අකමැති වූයේ ශ්‍රී ලාංකිකයෙකුට එවැනි මන්දිරයක් තැනීම සිහිනයක් බවට සරදම්ද කරමිනි.

මහාරාජාගේ කතාවෙන් සිත් තැවුලට පත් ආතර් ද සිල්වා තරුණයා ලංකාවෙන් පෙදරේරුවකු ගෙන්වා මන්දිරය දැක ගැනීමට සැලැස්වීය. මෙවැනි මන්දිරයක් ඉදි කිරීම සදහා එය හොදින් අධ්‍යයනය කරවීය.
ලංකාවට පැමිණි ආතර් ද සිල්වා මහමුදලි ලෙස පත්වූ අතර, ඔහුට ගම් 12 ක් බාර වූ බවත්. 40 දෙනෙකුගෙන් සැකසුණු ඔහුගේම කුලි ආරක්ෂකයන් පිරිසක් සිටි බවත් පැවසේ.



ප්‍රාදේශීය මුදලිවරු නම දෙනෙකුට මහ මුදලි වූ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මහමුදලිතුමාගේ අභිප්‍රාය වූයේ ඉන්දියාවේ දුටු මාලිගය වැන්නක්ම ලංකාවේ ඉදි කිරීමයි.

සුන්දර කළු ගං මිටියාවතේ ඉදි වූ රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නම්න් හැදින්වෙන මහා මන්දිරයේ කතාව ඇරඹෙන්නේ මෙතැන සිටය.

අක්කරයක භූමි භාගයක් පුරා පැතිර ඇති මෙම මැදුර අක්කර 40 ක් වූ උද්‍යානයක් මැද ඉදිවී තිබේ. 

1910
දී ඉදිකිරීම් ඇරැඹි මෙ‍ම ප්‍රෞඩ මන්දිරයෙහි ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන එන ලදී.
නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප‍්‍රතාපවත් මැදුරක් විය.

දොර උළුවහු 99 කින්ද ජනෙල් 38 කින්ද සමන්විත මෙම මැදුරෙහි ගෘහනිර්මාණාත්මක විශේෂතා බොහෝය.


මින් විශේෂතම නිර්මාණය වන්නේ නෘත්‍ය ශාලාවයි.මෙය දරා සිටින්නේ ඉතා උස් දැවමය කුළුණු 12 කිනි. මෙම කුළුණු නුවර යුගයට අයත් කැටයම් වලින් අලංකාර කර ඇති අතර මෙම ශාලාවේ වහලේ සැකැස්ම ද අපූරු නිර්මාණයකි. යටලී පරාල නොමැති මෙම වහල ආරුක්කු හැඩැති බාල්ක පෙළක් මත රදවා තිබේ.

මන්දිරයේ නෘත්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලොවේ ඇති සිදුරු, කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතී ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙළ සකසා ඇත්තේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.



ජනෙල් වීදුරු සදහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත.මේවාහි ඇති විශේෂත්වය වන්නේ මෙම වීදුරු වලින් ඇතුළතට ආලෝකය එන අතර ඇතුළතින් සුදු පැහැයෙන් දිස්වුවද පිටතින් දිස්වනුයේ ඇතුළත නොපෙනෙන කොල පැහැයකින් වීමයි.
නුවර යුගයේ කැටයම් වලින් අලංකෘත වූ බුරුම තේක්කයෙන් කරවන
ලද තරප්පු පෙළ අතිවිශිෂ්ට නිර්මාණයකි.



මෙන්ම මෙම මන්දිරයේ නිදන කාමර වල බිත්ති සකස් කර ඇත්තේ විශේෂිත ආකාරයටකටය.ගල්,ගඩොල් භාවිතා නොකොට තේක්ක දැව කඳන් සිටුවා බිත්ති මැද කුහරයක් නිර්මාණය වන ලෙස දෙපසින් තේක්ක රීප්ප ගසා හුණු මිශ්‍ර බදාමයෙන් බිත්ති නිර්මාණය කිරීමෙනි. මෙමගින් සිසිල් බවක් කාමර තුළට ලබා ගත්තා මෙන්ම පිටත ශබ්ද නොඇසීමද සිදු වේ.

මෙම මැදුරෙහි උඩුමහලේ සිට ඛලන්නෙකුට පුජනීය කළුතර චෛත්‍යය 
මෙන්ම ඊට එපිටින් ගලා බස්නා කළු ගංගාව මෙන්ම මහා සාගරයද 
හොඳින් දර්ශනය වේ.

මෙවන් වූ ප්‍රෞඩත්වයෙන් හෙබි මන්දිරයක් නිර්මාණය කළ මහමුදලි තුමා නිවසට ගෙවැදීම හා විවාහය එකම දිනක සිදු කළ බවත් තොරන් 7ක් බැඳ විවාහ මංගල්‍යය උත්කර්ෂවත් ව පැවැත්වූ බවත් ඒ සදහා අමුත්තන්ට පැමිණීම සදහා විශේෂ දුම්රියක් කළුතර දක්වා ධාවනය කරවූ බවත් පැවසේ.


මේ උත්සවය සදහා ආරාධනය ලැබ තිබූ විශේෂිතම පුද්ගලයා වූයේ 

ඉන්දියාවේ මහරාජාවරයාය.මේ මන්දිරය දැක මහරාජාද විස්මයට පත්වූ

බවද පැවසේ.


මෙතරම් සැප සම්පත් මැද ජීවත්වූ ධනකුවේරයකු වු මහමුදලි තුමාටත් එක් අඩුවක් තිබුණි. එනම් ඔහුට දාව දරුවන් නොසිටීමය. විවාහ ජීවිතය ඉතා නීරස ලෙස ගතකළ මහමුදලි තුමා දරුවන්ට ඉතා ආදරය දැක්වූවකි.
මෙම උද්‍යානයේ තැන්පත් කර ඇති, ග්‍රීක ආභාසය ඇති කුඩා පිරිමි දරුවන්ගේ ප්‍රතිමා ඊට සාක්ෂි දරයි.


මෙතරම් සැපසම්පත් මැද ජීවත්වූ මහමුදලිතුමා අවසානයේ සියල්ල හැරදා යාමට තීරණය කරන ලදී. බිරිඳ ඇයගේ මහ ගෙදරට පිටත් කොට හැරි මහමුදලිතුමා ඇයට ජීවිත කාලයට ජීවත් වීමට මුදලක් ප්‍රධානය කර ඉතිරි දේපල පිරිමි ළමයින් රැකබලා ගැනීම සදහා යොදවන ලෙසත් අන්තිම කැමති පත්‍රයක් ලියා තබා මුදලිධුරයද අතහැර නුවර කුවින්ස් හෝටලයේ 75 වැනි කාමරය කුලියට ගෙන එහි හුදකලාව වාසය කරමින් සිට 1947 ජූලි මස 08 වැනි දින සියල්ල අතැර දමා අවසන් ගමන් ගියේය.

අද ඒ කැමත්ත එලෙසම ඉටු වෙමින් රිච්මන්ඩ් කාසල්ස් මන්දිරය පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.



වර්තමානයේ රිච්මන්ඩ් කාසල්ස් මන්දිරයයේ අයිතිය මහාබාරකාරතුමා
සතුය.

සුන්දර කළුගං කොමලිය ගලාබස්නා මිටියාවතේ, පූජනීය කළුතර බෝ සමිදු දිස්වන මානයේ ජීවිතයේ අනිත්‍ය පසක් කොට දෙමින් ප්‍රතාපවත් රිච්මන්ඩ් කාසල්ස් මන්දිරය අදත් අකම්පිතව විරාජමාන වේ.





Thursday, July 9, 2015

පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල


 

ගිමින් බසිමින් දිවෙන රමණීය කඳු වැටියක පරිවාර කඳු හතකින් වට වූ ඵෙතිහාසික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත් ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථානයකි "අරිට්ඨ පබ්බත" හෙවත් "රිටිගල" කන්ද.
 
මහාවංසය ආදි පුරාතන ඵෙතිහාසික ග්‍රන්ථයන්හි 'අරිට්ඨ පබ්බත' නමින්ද, ජනප්‍රවාදයන්හි 'රැකවරණ කන්ද' හා 'භයංකර කන්ද' නමින්ද හඳුන්වනු ලැබූ රිටිගල කන්ද හා සම්බන්ධ ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් රැසකි.

 
මහාවංසයට අනුව රිටිගල කන්ද 'අරිට්ඨ පබ්බත' යි.අරිට්ඨ පබ්බත යන්නෙන් අර්ථවත් වන්නේ ආරක්ෂිත පව්ව යන්නය.

 
ක්‍රි.පූ. 3 වන සියවසේ ලක්දිව වැඩ විසූ පළමුවන මහ රහතන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ නමින් මේ කන්ද හැදින්වූ බව ජනප්‍රවාදයන්හි සදහන් වේ.අරිට්ඨ මහ රහතන් වහන්සේ යනු දේවානම්පියතිස්ස රජුගේ බෑනණුවන්ය.

 
ඉතිහාසගත මහ නර විරුවන් කිහිපදෙනකුට රැකවරණය සැලසූ පර්වතය යන අරුතින් මෙය 'රැකවරණ කන්ද' නමින් හැදින්වූ බවට ජනප්‍රවාද සාක්ෂි දරයි.

 
ලංකාවේ පළමු සිංහල නරපතියා ලෙස සැලකෙන පණ්ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුධ වැදීමට සේනා සංවිධානය කළේද රිටිගල කඳුයායේදීය. දුටුගැමුණු රජතුමා එළාරට එරෙහිව යුධ සේනා සංවිධානය කිරීමේදි රිටිගල කන්ද රැකවරණය ස්ථානය ලෙස යොදාගත් බවද සදහන් වේ.

 
රිටිගල කන්ද හා සම්බන්ධ රසවත් ජනප්‍රවාදයන් ද පවතී.

 
රිටිගල වනපෙතට නායක වූ යක්ෂ ගෝත්‍රික රිටිගල ජයසේන මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම රිටිගල කන්දේලු.

 
දුටුගැමුණු රජුගේ දසමහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බරට ජයසේන නම් යහළුවෙක් විය. දිනක් ජයසේන කළ නොහොබිනා විහිළුවක් නිසා කෝපයට පත් ගෝඨයිම්බර ජයසේන සමඟ සටනට එළඹිණි. සටනේදී ගෝඨයිම්බරගේ පහරකින් ජයසේනගේ හිස කඳින් වෙන්වී ගියේය. ජයසේනගේ මිතුරු සෙනසුරු මේ විපත අසා එතැනට දිව ආවේය. ඒ වන විටත් කවන්ධයේ ප්‍රාණය රැදී තිබෙන බව දුටු සෙනසුරුට ජයසේනගේ හිස සොයාගත නොහැකි වූ අතර ඔහු වලසෙකුගේ හිසක් කපා ජයසේනට බද්ධ කළේලු. කළබලයට සෙනසුරු වලස් හිස බද්ධ කොට තිබුණේ මුහුණ පිටුපසට සිටින ලෙස ලු. ජයසේන මහසෝනා බවට පත්වී ඇත්තේ එළෙසිණි.


අදත් මහසෝනාගේ රූපය අඹන විට හිස පිටුපසට සිටින සේ අඹනු ලැබේ.

 
මේ අතර වරින් වර විසූ සිංහල රජවරුන් රිටිගල පරිසරයේ පූජනීය ස්ථාන ඉදිකොට තිබේ.

 
ලජ්ජතිස්ස රජු විසින් ක්‍රි.පූ.59-50 වැන්නේදී අරිට්ඨ විහාරයද, සූරතිස්ස රජු විසින් ක්‍රි.පූ 187-177 දී රිටිගල පාමුල ලංකා විහාරයද, පළමුවන සේන රජු විසින් භික්ෂුන් වහන්සේ සදහා ආරාමයක් ද ඉදිකරන ලද බව ඵෙතිහාසික තොරතුරු අනාවරණ කරයි.

 
එමෙන්ම ලක්දිව ප්‍රථම මහ රහතන්වහන්සේ වන අරිට්ඨ මාහිමියන් ඇතුළු 500ක් සංඝ රත්නය රිටිගල ආරණ්‍යවාසීව විසූ බව මහාවංසයේ සදහන් වේ.






 
කටාරම් කොටන ලද ගල්ලෙන් 74 ක්ද , බ්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්ද, ඵෙතිහාසික වටිනාකම් ඇති ගොඩනැගිලි 140 ක පමණ නටඹුන්ද, පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත අති පැරැණි ආයුර්වේද රෝහලක නටඹුන්ද මෙම රිටිගල භූමියේ අදටත් ඉතිරිව තිබේ.

 
මෙහි අදත් දක්නට ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ ශෛලමය "බන්දා පොකුණ"යි. ගලින් ගල ළංකොට බැඳ සකසා ඇති බැවින් එය බන්දා පොකුණ නම් වීලු. ගස් වලින් සෙවන වූ හිරු එළිය බිඳකුදු මිහිමතට පතිත නොවන සේ සෑදුණු තුරු වියන යටින් ඇති බන්දා පොකුණ වර්තමානයේ පවතින නටඹුන් තත්ත්වය යටතේ පවා අතිශය සිත්ගන්නා සුළු වෙයි. දකුණු ආසියාවේ පවත්නා අති විශාලතම ශෛලමය පොකුණ ලෙස පුරාවිද්‍යාඥයන් විසින් මෙම බන්දා පොකුණ හදුනාගෙන තිබේ.






 
මීට අමතරව ගල්පාලම්, පියගැටපේළී, කවාකාර ශෛලමය වේදිකා, ඔපදැමූ ගල් පුවරු, ශෛලමය පහණ, තටාක, බෙහෙත් ඔරු, සළපතල මළු, විවේකාගාර ආදී ශෛලමය නිර්මාණ තුළ ගැබ්ව ඇත්තේ අපේ අතීත නිර්මාණ කෞෂල්‍යය යි.


රිටිගල කන්ද වැදගත් වන්නේ ඉහත සදහන් පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික සාධක නිසා පමණක් නොවේ.
 
රිටිගල කන්ද ජෛව විවිධත්ව පාරාදීසයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කදු වැටිය තුළ එකිනෙකට වෙනස් වූ පරිසර පද්ධතීන් තුනක් පැවතීමය. එනම්, වියලි, මිශ්‍ර සදාහරිත වනානතරමය ලක්ෂණ, තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා කඳුකර කලාපීය වනාන්තර ලක්ෂණ මෙන්ම එම පරිසර පද්ධතීන් වල වැවෙන මහා වනස්පතියේ සිට කුඩා පැලෑටිය දක්වාම වු වෘක්ෂලතාදියෙන් මෙම භූමිය වැසී තිබිමය.

 
තුරුගොමු හා ලියගොමු වලින් පිරී පවතින්නා වූ මේ සොඳුරු වන පියසේ තිබෙන අඩි 50 ක් පමණ උස "වන මී" ගස ශ්‍රීලංකාවේ අන් කිසිදු තැනකින් සොයාගත නොහැකි දුර්ලභ ගණයේ වෘක්ෂයකි. දසත විහිදුණු අතුපතර ඇති මෙම රූක්ෂ ගසෙහි කඳ පළුදු කළ විට රුධිරය වැනි රතු පැහැති දියරයක් වැගිරෙයි. මෙය දියවැඩියා රෝගයට මහඟු ඖෂධයක් බව කියවේ. මෙහි මල්මී සොයමින් යනෙන සමනලුන්ගේ දර්ශනය අතිශය චමත්කාරජනකය.





 
මෙහි ඇති "වෙම්බඩංගා" නම් වැල් විශේෂය දැවැන්ත නයින් පිඹුරන් මෙන් රූස්ස ගස් වෙලාගෙන සිටින අයුරු දැකීම බියක් මෙන්ම සුන්දරත්වයක්ද දනවයි.

 
රිටිගල කන්ද ඖෂධ පැලෑටි වලින් ගහන ස්ථානයක් ද වේ. මේ හා සම්බන්ධ අපූරු ජනප්‍රවාදයක්ද පවතී.

 
ලංකාවේ රාවනා රජු සමඟ සටනට පැමිණි රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන හදිසියේ තුවාල ලැබීය. රාම රජු හිමාලයෙන් ඹෟෂධ පැලෑටි ගෙනෙන්නට හනුමන්ව පිටත් කළ අතර ඉංදියාවට යන අතරතුර ඔහුට ඹෟෂධ පැලෑටි වල නම් අමතක වූයෙන් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක් උදුරා ගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අතහැරියේලු. අදටත් රිටිගල කන්දේ පැතිරි තිබෙන්නේ එම ඖෂධ පැලෑටිලු.

 
" සන්සෙව්" නමින් හදුන්වන රිටිගල කදු මුදුනේ ඇති ඹෟෂධීය පැලෑටිය මිනිසුන්ගේ සියලු වේදනාවන්ට සුවය ලබා දෙන බවට විශ්වාස කෙරේ.

 
දුර්ලභ වූ ජෛව විවිධත්වයක් ඇති රිටිගල රක්ෂිතයේ ශාක විශේෂ 337 ක් පමණ තිබේ. ඒවායින් 57 ක් ශ්‍රීලංකාවට පමණක් ආවේණික වූ ශාකයන් වේ. එමෙන්ම රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ 5 ක් තිබේ.රිටිගල තම්බජියා, කප්පර වල්ලිය, නෙලු, උන, මී යනු එම ආවේණික ශාක වර්ග වේ.





 
මුහුදු මට්ටමේ සිට මීටර් 766 ක් උසින් පිහිටි රිටිගල කඳු ශිඛරය මතට නැග අවට නරඹන්නන් හට මිහින්තලය, රුවන්වැලිසෑය ආදී අනුරාධපුර පුදබිමේ පූජනීය ස්ථාන ද මින්නේරිය, ගිරිතලේ වැව් ද දිස්වේ.

 
චෝල ආක්‍රමණ හේතුවෙන් ආරණ්‍ය සේනාසනය විනාශ වී යාමෙන් පසු මිනිස් පාදස්පර්ශයෙන් තොරව මහාමූකලානක් බවට පත් වූ රිටිගල 1872 දී මාර්ක් ටේල් නමැති පුරාවිද්‍යාඥයා විසින් කරන ලද පර්යේෂණය මගින් ලෝකයට නිරාවරණය කරන ලදි.

 
රිටිගල ජාතික සම්පතක් ලෙස සංරක්ෂණය කිරීමේ වටිනාකම වටහා ගත් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ රාජා ද සිල්වා මහතා 1941.11.07 දරණ රජයේ ගැසට් නිවේදනය මගින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 ක භූමි ප්‍රදේශයක් දැඩි ආරක්ෂිතයි කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදි.

 
අද වන විට රිටිගල පරිසරය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පෞරාණික ස්ථානයක් ලෙසද ප්‍රකාශයට පත් කොට ඇත.

 
ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් දරාගෙන ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් රැසකට උරුමකම් කියමින් සුන්දර ශ්‍රීලංකාවේ අසිරිමත් වන පියස, රිටිගල කන්ද වෙනස් වන ලොව දෙස නිහඩවම බලා සිටී.